ලෝක සිතියමේ නැති පාවෙන දූපත


ලෝක සිතියමේ නැති පාවෙන දූපත

ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල, ඒත් කිසිම ලෝක සිතියමක නැති අපූරු පාවෙන දූපතක් අපේ පෘථිවියේ තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන.

පාවෙන දූපතක් කිව්වට මම කිව්වෙ නෑනෙ අහසෙ පාවෙන දූපතක් කියලා. ඔය පින්තූරෙ තියෙන්නෙ ගලිවර්ගෙ අහසෙ පාවෙන දූපත. මේක එහෙම එකක් නෙමෙයි මේක මුහුදෙ පාවෙන දූපතක්. මේක කෘත්‍රිම දූපතක්. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ?

මොකද මේක පාවෙන කසළ දූපතක්!

ලෝකෙ එක එක රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැහෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන.

මේ තමයි The Great Pacific Garbage Patch.

මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.6ක්. ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තව ටිකක් තේරෙන්න කිව්වොත් මේක ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකුයි. ඒ කියන්නෙ ඉන්දියාවෙන් බාගයක් තරම් ලොකුයි. ඉතින් මේක හදන්න ලාංකිකයො දායක වුණේ කොහොමද??
අපි බොහොම පුංචි රටක් තමයි. හැබැයි පරිසර විනාශය අතින් අපේ වැඩ නම් එච්චර පුංචි නෑ. ඒ අතින් අපි ලෝකෙම හොලවගෙනයි ඉන්නෙ. නවතම Statista වාර්තා වලට අනුව ලෝකෙ 5 වෙනියට වැඩිම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට බැහැර කරන රට තමයි ශ්‍රී ලංකාව.

වෙන රටක නෙමෙයි මේ හලාවත පුත්තලම ආශ්‍රිත වෙරළ තීරයක්

අපේ රට අවුරුද්දකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6ක්. ඒ කියන්නෙ කිලෝග්‍රෑම් 1,600,000,000ක්. ගාන කියවගන්නත් අමාරුයි නේද? ලෝකෙ වැඩිපුරම මුහුදට කුණු බැහැර කරන්නෙ චීනය. ඒ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8.8ක්. හැබැයි ඉතින් එහෙම බැලුවට අපි හොඳයි කියල අපිට අත පිහිදගන්න හැකියාවක් නම් නෑ. මොකද චීනයේ ජනගහනය බිලියන 1.38ක් (2016 සංගණන වාර්තා). එහෙම බැලුවම චීනයේ එක මනුස්සයෙක් වාර්ශිකව සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 6ක් පමණයි. එතකොට ලංකාවෙ?

අපේ ජනගහනය මිලියන 21.2ක් (2016 සංගණන වාර්තා). එතකොට එක ශ්‍රී ලාංකිකයෙක් වසරකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 75.4ක්. අපෝ පොඩි ගාණයිනෙ. පොඩියට පෙනුනට අපි එක්කෙනෙක් චීන්නු 12ක් 13කගෙ තරම් කුණු ප්‍රමාණයක් මුහුදට බැහැර කරනවා. ඒක පුද්ගල සාගරයට කසළ බැහැර කිරීම අතින් අපි තමයි ලෝකෙ අංක එකේ පරිසර දූෂකයා වෙච්ච චීනයත් පරද්දල ලෝකෙ ඉහළින්ම වැජඹෙන්නෙ. ඉතින් වතුර බිංදුව බිංදුව එකතු වෙලා මහා විශාල ජලාශ හැදෙනව වගේ අපේ ග්‍රෑම් 75 ගානෙ එකතු වෙලා මේ වෙනකොටත් අති දැවැන්ත පරිසර හානියක් සිද්ධවෙලා ඉවරයි.

statista.com report

දැන් එතකොට මේ දූපත කොහෙද තියෙන්නෙ?

මේක තියෙන්නෙ පැසිෆික් සාගරයෙ ඇමරිකාවෙ කැලිෆෝනියාවට බටහිරින්. ඔය සිතියමේ පෙන්වල තියෙන තැන් වල තමයි මේ දූපත පිහිටන්නෙ. එතකොට කොහොමද මෙහෙම දූපතක් හැදුනෙ?

Location of the Garbage Patch

වසරෙ එක එක කාලයන් වලදි මුළු පෘථිවිය පුරාම සාගර වල උෂ්ණත්වය නිසි පරිදි නියාමනය කරන්න සොබාදහම උපයෝගී කරගත්ත හරි අපූරු ක්‍රියාවලියක් තමයි දියවැල් කියන්නෙ. ඉතින් ඒ දියවැල් දිගේ ලෝකෙ වටේම ඉඳලා කුණු අරගෙන එනවා. ඒ දියවැල් කිහිපයක්ම එකට එකතු වෙන තැනක් තමයි ඔය ඇමරිකාවට බටහිරින් පිහිටි ප්‍රදේශය.

ඔය රතු පාට ඊතල වලින් පෙන්නන්නෙ ඒ දියවැල් තමයි. එතකොට මේ එකතැන කැරකෙන දියවැල මොකක්ද? ඒවට කියන්නෙ Gyre (ජයර්) දියවැල් කියලා. ලෝකෙ සමහර තැන් වල මේ ජාතියෙ එකතැන කැරකෙන දියවැල් ඇතිවෙනවා. මේ ජයර් දියවැල් ඇති වෙන්නේ කොරියෝලිස් ආචරණය (Coriolis Effect) නිසා.

කවුද මේ කරෝලිස්?

කරෝලිස් නෙමෙයි මේ කොරියෝලිස් ආචරණය. පෘථිවිය භ්‍රමණය වෙනවනෙ. එතකොට පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ හැම තැනක්ම විශාල වේගයකින් ගමන් කරනවා. සමකය මත පිහිටි ලක්ෂ්‍යයක් නම් තත්පරයට මීටර් 463ක විතර වේගයකින්. ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1667ක විතර දැවැන්ත වේගයකින්. අපිට නොදැනුනාට සමකය අසලම පිහිටි අපේ රටත් ඊට කිට්ටු වේගයකින් නොනැවතී ගමන් කරනවා. ඉතින් මේ අධික වේගයෙන් ගමන් කරද්දි පෘථිවියේ සාගර මත බල ඇතිවෙනවා (හරියට අපි වතුර බේසමක් වේගයෙන් චලනය කරොත් වතුර මත බලයක් ඇතිවෙලා වතුර ටික බේසමේ එක පැත්තකට එකතු වෙනවා වගේ). ඔන්න ඔහොම සාගර මත බල ඇතිවෙන සංසිද්ධියට තමයි කොරියෝලිස් ආචරණය නැත්තං Coriolis Effect කියන්නෙ.

මේ සංසිද්ධිය නිසා තමයි අර කලින් කියපු ජයර් දියවැල් ඇතිවෙන්නෙ. ඉතින් දියවැල් කිහිපයක් ලෝකෙ වටෙන්ම අරන් එන කුණු ඔක්කොම එක තැනකට ගොඩ ගහලා දූපතක් හැටියට පවත්වගෙන යන්නෙ මේ ජයර් දියවැල් තමයි. වසරෙ එක එක කාලයන් වලදි මේ දියවැල් ගමන් කරන හැටි වෙනස් වෙන නිසා තමයි මේ කසළ දූපතට එක නිශ්චිත පිහිටීමක් නැතුව කාලෙකදි ටිකක් විතර හවායි පැත්තට බරවෙන්නෙත් ඉතුරු කාලෙදි ඇමරිකාව පැත්තට බරවෙන්නෙත්.

දූපතේ සංචාරයක්

මේ තියෙන්නෙ අපේ කුණු දූපත් වල සංචාරය කරපු අය ගත්ත ඡායාරූප කිහිපයක්. මම කිසිදෙයක් කියන්නෙ නෑ. පින්තූරම කතා කරයි.

මේ තියෙන්නෙ ලෝකෙ විශාලම කසළ දූපත් 5 තියෙන තැන්. අපිට යටිනුත් එකක් තියෙනවා. ඊතළ වලින් කියවෙන්නෙ ඒවා පිහිටි පෘථිවි අර්ධගෝලය අනුව භ්‍රමණය වෙන දිශාවන්. මේවා වලින් සාගර ජීවීන්ට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.

Garbage Islands

අපි මෙච්චර වෙලා කතා කරපු Great Pacific Garbage Patch දූපතේ බර මෙට්‍රික් ටොන් 80,000ක් විතර. මේකෙ තියෙනවා ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8ක්. ඒ කියන්නෙ 1,800,000,000,000ක්. කොහොමද ගාන? බිංදුම 11ක් තියෙනවා. ඒ කියන්නෙ average එකක් ලෙස ගත්තම කුණු දාපු නොදාපු ලෝකෙ හැම එක මනුස්සයෙක්ගෙම ගිණුමට කැබලි 250ක් බැගින් බැර වෙනවා.

ඉතින් මේකට මොකද කරන්නෙ?

  • තුනී පොලිතීන් බෑග් දිරාපත් වෙන්න වසර 10 – 20 යනවා.
  • Lunch sheets ඇතුළු අනෙක් පොලිතීන් දිරාපත් වෙන්න වසර 20 – 30 යනවා.
  • ඇලුමිනියම් කෑන් වලට වසර 80 – 200.
  • බීම බට වසර 200
  • ප්ලාස්ටික් බෝතල් වසර 450.
  • ප්ලාස්ටික් මූඩි වසර 450 – 1000
  • වීදුරු බෝතල් දළ වශයෙන් වසර මිලියනයක්
Lifespan of several artificial objects

ප්ලාස්ටික් නිර්මාණය කෙරුනෙ 1907දි (Wikipedia). ඒ කියන්නෙ ලෝකෙ හදපු පළමු ප්ලාස්ටික් බෝතලයත් තවම ස්වභාවිකව දිරාපත් වෙලා නැහැ කියන එකයි. ඒක දිරාපත් වෙන්නෙත් වර්ෂ 2357දි. කොහොමද විනාශයේ තරම?

එහෙමයි කියල මේ දේවල් බලාගෙන ඉන්නත් බැරි නිසා මේ සාගර දූෂණය නතර කරන්න අපි තරම් ආත්මාර්ථකාමී නොවන සමහර රටවල් වල මිනිස්සු එකතු වෙලා විවිධ දේවල් කරමින් ඉන්නවා. ඉන් එකක් තමයි නෙදර්ලන්ත ජාතික Boyan Slat ඇතුළු පිරිස සිදුකරන ව්‍යාපෘතිය. ඔවුන් අනුමාන කරන්නෙ ඔවුන්ට වසර 10කින් මේ කසළ ප්‍රමාණය 50%ක් දක්වා අඩු කරන්න පුළුවන් වෙයි කියලා. මේ එක ව්‍යාපෘතියක් විතරයි. එකක් දෙකක් නෙමෙයි මේ වගේ ව්‍යාපෘති තව ගොඩක් තියෙනවා. පාරවල් වලට තාර වෙනුවට ප්ලාස්ටික් අතුරන ක්‍රමවේදයත් එහෙම එකක්.

හැබැයි තාම ඒක තියෙන්නෙ පරීක්ෂණ මට්ටමේ. ඉතින් මේ ව්‍යාපෘති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් තවදුරටත් මේ විනාශයේ කොටස්කරුවෙක් නොවී පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය හැකි පමණින් අවම කරන්න ඔබත් මේ මොහොතේ සිට වත් හිතාගන්නව නම් ඒක අනාගත පරපුර වෙනුවෙන් ඔබට ඉටුකරන්න පුළුවන් ලොකුම යුතුකමක්!

GO TOP