පස් පාරක් විනාශ උන පෘථිවිය


පස් පාරක් විනාශ උන පෘථිවිය

පෘථිවියේ ජීවය බිහිවීම කියන්නෙ කොයි තරම් දුර්ලභ දෙයක්ද කියන එක හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් ඇතිවුණ ජීවයත් 5 වරක්ම නැත්තටම නැතිවෙන්න ගිහින් යන්තමින් බේරුනා. ඒ හැම අවස්ථාවකදිම පෘථිවියේ ජීවයෙන් 70%කට වැඩිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අද අපේ මාතෘකාව පෘථිවියේ මහා නෂ්ට වීම් පහ ගැනයි.

1. Ordovician මහා නෂ්ටවීම – 445 Million Years Ago

මේ නෂ්ටවීම ඇතිවුණේ දළ වශයෙන් අදින් අවුරුදු මිලියන 445කට විතර කලින්. මේ නෂ්ට වීමට හේතුව උනේ පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් අඩුවීම නිසා පෘථිවිය ඉතාම කෙටි කාලයක් තුල සීතල වෙලා මහා හිම යුගයකට යාම. මේකෙදි දැවැන්ත ග්ලැසියර සෑදීම නිසා මුහුදු මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙන්න පටන්ගත්තා.

මේ කාලයේදි පෘථිවියේ ජීවය තනිකරම පාහේ තිබුණෙ සාගරයේ. ඉතින් මේ සාගර ජීවීන්ට අධික ශීතලකට මුහුණදෙන්න සිදුවුණා මදිවට තමන්ගෙ වාසස්ථානත් නැතිකරගන්න සිදුවුණා. අවාසනාවට ඒක එයාලට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නෂ්ටවීම වසර මිලියන 10ක් පමණ කාලයක් පුරාවට සිදුවුණා. මේකෙන් පෘථිවියේ ජීවයෙන් 85%ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ගියා.

2. Devonian මහා නෂ්ටවීම – 340 Million Years Ago

මේ කාලයේ පෘථිවියේ ඉතුරු වෙලා හිටියෙ අර පළවෙනි නෂ්ටවීමෙන් පණ බේරගත්ත ජීවී වර්ග කිහිපය සහ අළුතින්ම හැදුණු ජීවී වර්ග කිහිපයක් පමණයි. ඔන්න ඔය කාලයේ ගොඩබිම අමුතු වෙනසක් වෙන්න පටන්ගත්තා. මෙච්චර කල් පෘථිවි ගොඩබිම මත තිබුණෙ වැඩිය උස නොයන පඳුරු වගේ ශාක වර්ග පමණයි. ඔය කාලයේ ශාක වර්ග කිහිපයක සිදුවුණු ජාන විකෘතියක් නිසා ලිග්නින් කියන රසායනිකය නිෂ්පාදනය වෙන්න ගන්නවා. ඉතින් මේ ලිග්නින් නිසා මේ ශාක වලට අහස උසට වැඩෙන්න හැකියාව ලැබෙනවා.

මේ ගස් අධික ලෙස වැඩුණට ඒවා ස්වභාවිකව වරණය වෙන්න ක්‍රමයක් තිබුණෙ නෑ. ඒක නිසා මේ ගස් ඔහේ පිස්සුවෙන් වගේ වැඩිලා කඩාගෙන වැටිලා පොළොවට පස්වෙලා යනවා. මේ දැවැන්ත ගස් නිසා පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යන්න පටන්ගන්නවා. ඉතින් ඒ කාලෙ සත්තුත් අති විශාලයි. කැරපොත්තො බිහිවුණෙත් ඔය කාලෙ. හැබැයි අද වගේ නෙමෙයි ඒ කාලෙ ආදි කැරපොත්තො අඩි 4ක් 5ක් දිගයි.

ඉතින් මේ දැවැන්ත ගස් වල මුල් පද්ධතියත් ගහ වගේ පස් ගුණයක් විතර විශාල නිසා ඒවා වල මුල් පද්ධතිය ඔස්සේ සාගරයටත් අධික ලෙස පෝෂ්‍ය පදාර්ථ එකතු වෙන්න පටන්ගත්තා. ඒකෙන් වුණේ සාගර ඇල්ගී වල වැඩීමත් අසාමාන්‍ය ලෙස වර්ධනය වීම. (අදටත් අපි හුස්මගන්න ඔක්සිජන් වලින් 58% – 70% අතර ප්‍රතිශතයක් නිෂ්පාදනය කරන්නෙ සාගර ඇල්ගී මිසක් ගොඩබිම ගස් නෙමෙයි). දැන් ඉතින් සාගර ඇල්ගී සහ ගොඩබිම යෝධ ගස් දෙගොල්ලොම එකතු වෙලා කාබන්ඩයොක්සයිඩ් උරාගනිමින් තරඟෙට ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. මේ කාලයේ වායුගෝලයෙන් 40% 45%ක් විතරම ඔක්සිජන්. අද තියෙන්නෙ 21%යි.

මේකෙ ප්‍රතිඵලය වුණේ ගෝලීය උෂ්ණත්වය අඩුවෙලා නැවතත් පෘථිවිය අයිස් යුගයකට යන එක. නැවතත් මුහුදු මට්ටම දැඩි ලෙස පහළ ගියා. සාගර මිදෙන්න පටන්ගත්තා. ආපහු පෘථිවිය ජීවයට නුසුදුසු වෙන්න පටන්ගත්තා. මේ ඩෙවෝනියන් මහා නෂ්ටවීම පුරා වසර මිලියන 3ක් පමණ පැවතුණ අතර මෙමගින් පෘථිවියේ ජීවයෙන් 70%ක් පමණ සම්පූර්ණයෙන් මිහිමතින් විනාශ වී ගියා. (හැබැයි අර කැරපොත්තා නම් බේරුණා)

3. Permian මහා නෂ්ට වීම – 250 Million Years Ago

පර්මියන් යුගය අවසානයේ සිදුවූ මේ මහා නෂ්ටවීම තමයි පෘථිවි ඉතිහාසයේ සිදුවූ විශාලම නෂ්ටවීම. ඒ නිසාම මේ සංහාරයට “The Great Dying” කියලත් කියනවා. වර්තමානයේ හැටියට නම් මෙක්සිකෝ බොක්ක අසලට වැටුණු දැවැන්ත උල්කාව නිසා පොළොවේ ඇතිවූ පැලීම් වලින් පොළොව මතට අඩි ගණනක් උසට ලාවා ගලා ඒමත්, ඒ ඇතිවූ කම්පන නිසා පෘථිවිය පුරාම සියවස් ගණනක් පුරාවට එක දිගට ගිනිකඳු විදාරණය වීමත් නිසා මුළු වායුගෝලයම කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් වලින් වැසීයනවා. ඒ විතරක් නෙමෙයි මේ කාබන්ඩයොක්සයිඩ් අම්ල වැසි මගින් මුහුදු ජලයේ දියවීම නිසා මුහුද ආම්ලික වෙන්න පටන්ගන්නවා. ඒ නිසාත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මියයනවා.

මේ අසාමාන්‍ය කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම නිසා පෘථිවිය මතින් ඔක්සිජන් වායුව තුරන් වෙන්න පටන්ගන්නවා. දැනටමත් ගැඹුරු මුහුදේ ඔක්සිජන් නැහැ. ඉතින් ගැඹුරු මුහුදේ ජීවත්වුණ, ඔක්සිජන් ශ්වසනය කරමින් සල්ෆර් මුදාහරින මාරාන්තික බැක්ටීරියාවන්ටත් සිද්ධවෙනවා තමන්ගෙ වාසස්ථාන අතඇරලා මුහුද මතුපිටට එන්න. ඔය එන ගමනෙදි එයාලා මුහුදේ ඉතිරි වෙලා තියෙන ඔක්සිජන් ස්වල්පයත් පරිභෝජනය කරපු නිසා සහ ගමන පුරාවට මුදාහැරපු සල්ෆර් නිසා මුහුදේ ජීවය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙලා යනවා.

එතනින් කතාව ඉවර වෙන්නෙ නෑ. මේ බැක්ටීරියා දැනටමත් කාන්තාරකරණයට ලක්වූ ගොඩබිමට ඇවිත් මුළු වායුගෝලයම සල්ෆර් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ විෂ වායු වලින් පුරවලා ගොඩබිම ඉතිරි ජීවයත් තනිකරම විනාශ කරලා දානවා. එතනිනුත් නොනැවතී ඕසෝන් ස්ථ‍රයෙත් කොටසක් විනාශ කරල දානවා. හරිතාගාර ආචරණයේත් උපරිමය. චිත්‍රපටයක් නෙමෙයි මේ අපේ පෘථිවියේ ඇත්තටම සිදුවුණ දෙයක්. මේ කාලය පුරාවටම පෘථිවියේ උෂ්ණත්වය ඉතාම අධිකයි. ඉතින් ජීවයක් තිබුණද කියල වත් හොයන්න බැරි තරමට පෘථිවියේ ජීවයෙන් 96%ක් පමණම සම්පූර්ණයෙන් මිහිමතින් අතුගෑවිලා යනවා. (හැබැයි කැරපොත්තා බේරුණා)

4) Triassic මහා නෂ්ටවීම – 200 Million Years Ago

මේක සිදුවුණේ Triassic යුගයේ අග භාගයේ. මේ මහා නෂ්ටවීම වසර මිලියන 3ත් 4ත් අතර කාලයක් පැවතුණා. මේකට හේතුව වුණේ ලොව පුරාම දීර්ඝ කාලයක් පුරාවට ගිනිකඳු පිපිරීම නිසා මහා පරිමාණයෙන් වායුගෝලයට විමෝචනය වූ කාබන්ඩයොක්සයිඩ් හා මෙතේන් වායු.

මේ නිසා පෘථිවිය හරිතාගාර ආචරණයට ලක්වෙලා ගෝලීය උෂ්ණත්වය නැවතත් සීඝ්‍රයෙන් ඉහළ ගියා. ගොඩබිම සම්පූර්ණයෙන්ම පාහේ කාන්‍තාරකරණය වුණා. ආහාර, ජලය, ඔක්සිජන් දුර්ලභ වුණා. මේ හේතු සහ නිරන්තරයෙන් පෘථිවිය මත හඹා ගිය heat waves නිසා පෘථිවි ජීවයෙන් 76%ක් පමණම විනාශ වෙලා ගියා. (හැබැයි කැරපොත්තා බේරුණා)

5) Cretaceous (K-T) මහා නෂ්ටවීම – 66 Million Years Ago

අපි කවුරුත් දන්න දැවැන්ත ඩයිනෝසරයන්ගෙ වඳවීම සිදුවුණේ මේ මහා නෂ්ටවීමෙදි. මේක අවුරුදු මිලියනයකට නොවැඩි කාලයක් පුරාවට පැවතුනා. උල්කාපාත, ලැව්ගිණි, නිරන්තර ගිනිකඳු ආදිය නිසා මුළු පෘථිවියම දැවැන්ත අළු වළාවකින් වැහිලා ගියා. මේකට කිව්වෙ global ash cloud කියලා. ඉතින් සියවස් ගානක්ම පෘථිවියට ඉර එළිය වැටුනෙ නෑ. මේ නිසා ආපහු ඔන්න පෘථිවිය හිම යුගයකට ගියා. මුහුදු මට්ටම පහළ ගියා, ආහාර වාසස්ථාන නැතිවුණා, වායුගෝලය විෂ සහිත වුණා, උෂ්ණත්වය ජීවයට දැඩි ලෙස අහිතකර තරම් පහළ ගියා. මේක හැඳින්වුණේ The Nuclear Winter කියලා.

කොහොම වුණත් මේ මහා නෂ්ටවීම නිසා ඩයිනෝසරයන්ගේ ඉඳලා පෘථිවි ජීවයෙන් 75%-80% ක්ම නැත්තටම නැතිවෙලා ගියා. (ඔව් ඔව් මේකෙනුත් කැරපොත්තා බේරුණා තමයි. නැත්තං ඉතින් කොහොමද තාමත් කැරපොත්තො ඉන්නෙ?)

6. Anthropocene මහා නෂ්ටවීම

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මම මුලදි කිව්වෙ මහා නෂ්ටවීම් 5ක් ගැනනෙ. එහෙනම් කොහෙන්ද මේ 6ක්?

ඇන්ත්‍රොපොසීන යුගය කියන්නෙ අපි මේ ඉන්න වර්තමාන යුගයට කියන නම. අමතක නම් ආපහු මුල ඉඳල කියවල බලන්න පෘථිවියේ මහා නෂ්ටවීම් 5න් 3කටම හේතුවුණේ අසාමාන්‍ය ලෙස වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයාම නෙමෙයිද කියලා. ඉතින් අපි දැන් පසුකරමින් ඉන්නෙත් හරියටම ඒ වගේම කාලයක්. හැබැයි කලින්ට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි කලින් නෂ්ටවීම් වලදි ස්වභාවිකව කාබන්ඩයොක්සයිඩ් වැඩිවුණත් දැන් නම් ඒක සිද්ධවෙන්නෙ මානව ක්‍රියාකරකම් නිසා වීම.

මිනිස්සු වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37ක් විතර වායුගෝලයට මුදාහරිනවා. වැඩිම දායකත්වය ඉන්දියාවෙන්, චීනයෙන් සහ ඇමරිකාවෙන්. මේ තරම් කාබන්ඩයොක්සයිඩ් විමෝචනයක් සමතුලිත කරගන්න සොබාදහමට හැකියාවක් නෑ. ඉතින් හරිතාගාර ආචරණයට ලක්වෙලා ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා.

මතක් කරල බලන්න හැම අවුරුද්දෙම ප්‍රවෘත්ති වලට “පසුගිය වසර 100 තුල වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මේ වසරේ වාර්තා වන බව විද්‍යාඥයින් පවසයි” වගේ එකක් වරදින්නෙ නෑ නේද? හැම අවුරුද්දෙම ඕක කියන්නෙ කලින් අවුරුද්දට වඩා ඒ අවුරුද්දෙ උණුසුම වැඩිවුණ නිසානෙ.

අමතක කරන්න එපා සොබාදහමේ ඉවසීමටත් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නම එයා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් අපිව සම්පූර්ණයෙන් විනාශ කරල දාන්න වුණත් දෙපාරක් හිතන්නෙ නෑ. සුපුරුදු පරිදි කැරපොත්තා නම් බේරෙයි. හැබැයි අපි නම් බේරෙන එකක් නෑ. ඒක නිසා 6 වෙනි මහා නෂ්ටවීමත් ලඟ ලඟම එන බව හොඳට මතක තියාගෙන ඉන්න එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි.

GO TOP