දකුණ තියෙන්නෙ උතුරෙ


දකුණ තියෙන්නෙ උතුරෙ

මාතෘකාවෙ “දකුණ තියෙන්නෙ උතුරෙ” කියල කිව්වට මේ කියන්න යන්නෙ දකුණු රට ගැන නම් නෙමෙයි. අද මම කතා කරන්න යන්නෙ පෘථිවියේ උත්තර ධ්‍රැවය හා ධ්‍රැව ආශ්‍රිත යම් කරුණු කීපයක්.

අපි උතුර කියල පාවිච්චි කරන “උතුරු” වර්ග 3ක් තියෙනවා. ඒ තමයි

  1. භූගෝලීය උතුර
  2. චුම්භක උතුර
  3. සැබෑ උතුර

ඔය 3 ගැන වෙන වෙනම බලමු..

01. භූගෝලීය උතුර

ලෝක සිතියමේ නැත්තං ආදර්ශ ලෝක ගෝලයේ තියෙනවනෙ දේශාංෂ රේඛා (සිරස් ඉරි). ඔන්න ඔය ඉරි ටික ගිහින් ලෝක ගෝලයේ මුදුනෙ එකතු වෙන තැනට තමයි භූගෝලීය උතුර කියල කියන්නෙ.

භූගෝලීය උතුර තියෙන්නෙ ආක්ටික් වල පාවෙන අයිස් ස්ථරයක් මත.

මේක අඩි 6ක් – 10ක් පමණ ඝනකම අයිස් ස්ථරයක්. Arctic summer එකේදි මේ අයිස් කුට්ටිය වර්ගඵලයෙන් බාගයක් පමණ දක්වා දියවෙනවා. ඒ කාලෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවක් තරම් ඉහළ යනවා. ඇන්ටාක්ටිකාව නම් එයාගෙ summer එකේදි මෙච්චර උණුසුම් වෙන්නෙ නෑ. ආක්ටික් වලට මෙහෙම වෙන්නෙ අඩු ගොඩබිම් සහ වැඩි මුහුද නිසා. ආපහු winter එක ආවම සෙල්සියස් සෘණ 40ක් වගේ දක්වා උෂ්ණත්වය පහළ ගිහින් ආපහු අයිස් කුට්ටිය වැඩෙනවා.

හැබැයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා 2050 විතර වෙනකොට (තව අවුරුදු 30යි) මේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දියවෙලා උත්තර ධ්‍රැවය හරහා නැව් ගමන් කරන්න (අත්ලාන්තික් – පැසිෆික් අතර) පුළුවන් වෙයි කියලයි විද්‍යාඥයො කියන්නෙ. මේ තත්වය වළක්වගන්න විද්‍යාඥයන් සහ පරිසරවේදීන් හැකි උපරිමය කරමින් සිටිනවා.

02. චුම්භක උතුර (Magnetic North)

මේක ගැන කතා කරන්න අපිට ටිකක් පෘථිවිය ඇතුලට යන්න වෙනවා.

අපි මේ ඉන්න කොටසට කියන්නෙ earth crust එක කියලා. පෘථිවිය ඇපල් ගෙඩියක් නම් ක්‍රස්ට් එක නිකං ඇපල් පොත්‍ත වගේ. එච්චරටම තුනී කොටසක්. අපි ඔක්කොම සෙල්ලම් දාන්නෙ මේ තුනී පොත්තෙත් උඩම ටිකේ ඉඳලා.

තව ටිකක් හාරගෙන යනකොට තියෙනවා මැන්ටලය (Earth Mantle) කියල කොටසක්. මේක අර්ධ ඝන – අර්ධ ද්‍රව කොටසක්.

තව ටිකක් ඇතුලට යනකොට තියෙනවා පෘථිවියේ Outer Core එක (බාහිර හරය). මෙතන උෂ්ණත්වය ඉතාම අධිකයි. මෙතන යකඩ සහ වෙනත් ලෝහ වර්ග උණුවෙලා ද්‍රව හැටියටයි තියෙන්නෙ. Outer core එක ද්‍රවයක්. අද අපේ මාතෘකාවට වැදගත් වෙන්නෙ මෙයාව. හැබැයි මෙච්චර දුර ආපු එකේ පෘථිවියේ කේන්ද්‍රයටත් යමු

ඔන්න අන්තිමට තියෙනවා පෘථිවියේ Inner core එක. නැත්තං අභ්‍යන්තර හරය. පෘථිවියේ කේන්ද්‍රය තියෙන්නෙත් මේක ඇතුලෙ. Inner core එක අරය කිලෝමීටර් 1200ක විතර ගෝලයක් කියලයි දැනට හොයාගෙන තියෙන්නෙ. මුළු පෘථිවියේම අරය කිලෝමීටර් 6370ක් විතර වගේ. මෙතන උෂ්ණත්වය 5000°C පැනලා. ඒ කියන්නෙ ඉරේ මතුපිට උෂ්ණත්වයටත් ටිකක් කිට්ටුයි. ලෝහ වර්ග ගිලීයාමේදී හානි වෙන ශක්තිය, විකිරණශීලි මූලද්‍රව්‍යය හායනයට පත්වීම වගේ හේතු නිසා තමයි මේක මෙච්චර රස්නෙ.

හැබැයි මෙච්චර උෂ්ණත්වයක් තිබිලත් මේක ඝනයක්. ඝන ලෝහ බෝලයක්. ද්‍රවයක් නෙමෙයි. එහෙම වෙලා තියෙන්නෙ මෙතන තියෙන අධික පීඩනය නිසා. එහෙම වෙන හැටි ගැන වැඩිදුර තොරතුරු ඕන නම් Clausius–Clapeyron relation කියන තියරි එක පොඩ්ඩක් හොයල බලන්නකො.

හරි අපි ආපස්සට එමු outer core එකට.

පෘථිවියේ භ්‍රමණයත් එක්ක මේ ද්‍රව ලෝහමය outer core එකත් භ්‍රමණය වෙනවනෙ (කලින් ලිපි කියවල තියෙනව නම් කොරියෝලියස් ආචරණය මතක ඇති). ඔය භ්‍රමණය සහ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන ලාවා ධාරාවන් පෘථිවියේ ක්‍රස්ට් එකට ඇවිත් කූල් වෙනකොට ඇතිවෙන සංවහන ධාරා නිසා මේ outer core එක මගින් චුම්භක ක්ෂේත්‍රයක් නිපදවනවා.

මේ චුම්භක ක්ෂේත්‍රය කොච්චර ලොකුද කියනව නම් පෘථිවි අභ්‍යන්තරයේ සිට අභ්‍යවකාශය දක්වා මේක පැතිරෙනවා. මේ චුම්භක ක්ෂේත්‍රය අපිට ලොකු සේවයක් කරනවා. සූර්යයාගේ සිට පෘථිවිය දෙසට ඇදී එන ධන ආරෝපිත අංශු ව්කර්ෂණය කරල අපිවයි ඕසෝන් වියනයි වායුගෝලයයි බේරගන්නෙ මෙයා තමයි.

(මෙයා නැතිවුණොත් වෙන දේ තව ඉස්සරහට කියන්නම්)

ඔය චුම්භක ක්ෂේත්‍රය හරියට නිකං පෘථිවි ඇතුලෙ තියපු මනඃකල්පිත චුම්භක දණ්ඩක් වගේ. මේකෙ උතුරු ධ්‍රැවය තියෙන්නෙ ඇන්ටාක්ටිකාව පැත්තට වෙන්න. දකුණු ධ්‍රැවය තියෙන්නෙ ආක්ටික් පැත්තට වෙන්න.

මොකක්? වැරදුනාද?

නෑ ඕක තමයි ඇත්තම කතාව. ඒකයි මාතෘකාවෙ කිව්වෙ දකුණ තියෙන්නෙ උතුරෙ කියලා. ඇත්තම චුම්භක උතුර තියෙන්නෙ ඇන්ටාක්ටිකාවෙ. හැබැයි භාවිතයේ පහසුව පිණිස ඇන්ටාක්ටිකාවට දකුණ කියල ආක්ටික් වලට උතුර කියනවා.

ඕක සරළව තේරුම්ගන්න පුළුවන් මෙහෙම.

මාලිමා කටුවෙ තියෙන කාන්දමේ “උතුරු” අග්‍රය ආක්ටික් දෙසට හැරෙන්නෙ ඇත්තටම ආක්ටික් වල තියෙන්නෙ චුම්භක “දකුණක්” නිසා. විජාතීය ධ්‍රැවනෙ ආකර්ශනය වෙන්නෙ. ආක්ටික් වල ඇත්තටම තියෙන්නෙ උතුරක් උනා නම් ඒ උතුරට මාලිමා කටුවෙ උතුර විකර්ශණය වෙනවා.

තව ටිකක් ගැඹුරින් තේරුම්ගන්න පුළුවන් වෙයි මේ රූප සටහනෙන්.

උසස්පෙළට භෞතික විද්‍යාව ඉගෙනගත්ත නම් ඔයාල දන්නවනෙ චුම්භක ස්‍රාව රේඛා වල (magnetic flux) ඊතලය මාක් කරන්නෙ උතුරෙ සිට දකුණට බව. දැන් ආපහු බලන්න ඔය රූපෙ චුම්භක රේඛා වල ඊතල කොහොමද තියෙන්නෙ කියලා.

ඇන්ටාක්ටිකාවෙ සිට ආක්ටික් පැත්තට. ඒ කියන්නෙ ඇත්තටම චුම්භක උතුර තියෙන්නෙ ආක්ටික් වල නෙමෙයි ඇන්ටාක්ටිකාවෙ. කොහොම වුනත් සම්මතයක් හැටියට සහ භාවිතයේ පහසුව පිණිස අපි මේ උතුර දකුණ මාරුකරගෙනයි භාවිතා කරන්නෙ. ඒක නිසා මෙතනින් ඉස්සරහට මම ආක්ටික් වලටම තමයි චුම්භක උතුර කියල කියන්නෙ.

මේ චුම්භක උතුර තියෙන්නෙ අපි කලින් කතා කරපු භූගෝලීය උතුර පිහිටල තියෙන තැන නෙමෙයි.

එහෙනම් කොහෙද?

මෙයාට fixed location එකක් නෑ. භූගෝලීය උත්තර ධ්‍රැවයට ආසන්න කොහෙහරි තැනක කාලෙන් කාලෙට එහෙට මෙහෙට වෙවී ඉන්නවා. පෘථිවියේ inner core එක හැසිරෙන විදිහ අනුව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය වෙනස් වෙන නිසයි මෙහෙම වෙන්නෙ. ඉස්සර නම් මේ චුම්භක උතුර තිබුණෙ කැනඩාවට අයත් කැනේඩියන් ආක්ටික් දූපතක. ඒ කියන්නෙ මාලිමාවෙ උතුර බලාගෙන කෙලින්ම ගියොත් යන්නෙ එතනට. හැබැයි දැන් මෙයා ඉන්නෙ එතන නෙමෙයි.

අවුරුදු 5කට සැරයක් world magnetic model කියල මේ චුම්භක ක්ෂේත්‍රය ගැන standards වගයක් ඉදිරිපත් කරනවා. මේක අන්තිමට තිබුණා 2015දි. ඒ කියන්නෙ ඊළඟට එන්නෙ 2020දි. හැබැයි අපේ චුම්භක උතුර හදිස්සියෙම තමන්ගෙ පිහිටීම වෙනස් කරපු නිසා මේ කමිටුව 2020ට අවුරුද්දක් කලින් ඒ කියන්නෙ 2019දි රැස්වෙලා අළුත් standards ඉදිරිපත් කරා. මේ ලින්ක් එකේ තියෙනවා ඒ විස්තර.

World Magnetic Model | NCEI
World Magnetic Model (WMM) coefficients and fortran software download.

ඒ අනුව බැලුවම දැන් චුම්භක උතුර තියෙන්නෙ සයිබීරියාව පැත්තට වෙන්න. අවුරුදු 5ක් ඇතුලත නොහිතපු දුරක් මෙයා චලනය වෙලා. දැන් අපි මාලිමාවෙ උතුර බලාගෙන ගියොත් යන්නෙ රුසියාවට අයත් සයිබීරියාවෙ ආක්ටික් කොටසකට.

එහෙම චලනය වෙන්නෙ පෘථිවියේ බාහිර හරයෙ සිදුවුණ යම්කිසි සුළු වෙනසක් නිසා වෙන්න පුළුවන්. සමහරවිට ආපහු තව අවුරුදු කීපයකින් ආක්ටික් වලම තවත් තැනකට යයි.ඔහොම ඉඳල දවසක ඇත්තටම උතුර දකුණ මාරුවෙනවා..

දැනට හොයාගෙන ඇති කරුණු අනුව හැම අවුරුදු ලක්ෂ 2කටම වගේ සැරයක් පෘථිවියේ චුම්භක උතුර දකුණ සම්පූර්ණයෙන් මාරුවෙනවලු. හැබැයි මේක පහුගිය අවුරුදු ලක්ෂ 7, 8 ඇතුලතම එක පාරක් වත් සිද්ධ වෙලා නෑ.

ඔන්න දැන් ප්‍රශ්නයක්. මේ මාරුවෙන අතරතුර වෙලාවෙදි (transition period) පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය ටික ටික fade වෙලා ගිහින් 5%ක් විතර දක්වා අඩුවෙලා තමයි ආපහු වැඩිවෙන්නෙ. එතකොට ඔය වෙලාවෙදි අර කලින් කියපු solar particles වැදුණොත් මොකද වෙන්නෙ?

බයවෙන්න දෙයක් නෑ. මීට කලින් එහෙම වෙච්ච වෙලාවකදි පෘථිවියේ හිටපු ජීවීන්ට ඒකෙන් ලොකු හානියක් හෝ නෂ්ටවීමක් වෙච්ච බවට සාධක නෑ. කුරුල්ලන්ට, කැස්බෑවන්ට, මීමැස්සන්ට එහෙම නම් පාර හොයාගැනීමේ අපහසුතා ඇතිවෙයි. වෙන ලොකු හානියක් වෙන එකක් නෑ. අනික ඔය ධ්‍රැව මාරුවක් පටන් අරන් ඉවර වෙන්න අවුරුදු සිය ගාණක් ගතවෙනවා. ඒ කියන්නෙ බොහොම හෙමින් වෙන ක්‍රියාවලියක්. ඉතින් මේක ආපහු වෙන කාලෙක පෘථිවියේ මිනිස්සු හිටියොත් එයාලා බොහොම ලේසියෙන් මේකට පිළියමක් හොයාගනියි..

ඔය කියපු දේවල් එක්ක චුම්භක උතුර කියන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාලට දළ අදහසක් ලැබෙන්න ඇති.. දැන් යමු ඊළඟ කොටසට..

03. සැබෑ  උතුර

පෘථිවිය භ්‍රමණය වෙන අක්ෂය තියෙනවනෙ. ඔන්න ඔය අක්ෂයේ ඉහළ කෙළවර තමයි සැබෑ උතුර කියල කියන්නෙ. යට කෙළවර සැබෑ දකුණ

මේ සැබෑ උතුර කියන එක තියෙන්නෙ භූගෝලීය උතුරට බොහොම ලඟින්. Navigation වැඩ වලට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ මේක. Google Map එකේ උතුර කියල පෙන්නන්නෙත් මේ උතුර.

ධ්‍රැව වලදි වෙලාව

පහුගිය දවසක සමාජ මාධ්‍ය වල දැඩි ලෙස සංසරණය වුණා මෙහෙම කතාවක්..

ඇත්තටම මම මේ ලිපිය ලියන්නත් මූලික හේතුව මේකමයි. කාලය හරහා කියල මේක හදපු කෙනා අදහස් කරන්න ඇත්තෙ වෙලාව හරහා ගමන් කිරීම වෙන්න ඕන. කාලය හරහා ඔහොම යන්න බැරි බව පරණ ලිපි කියවල තියෙනව නම් ඔයාලා හොඳටම දන්නවනෙ. වෙලාව කියල හිතාගෙන ඉතුරු ටිකට යමු..

වෙලාව කියල ගත්තත් මේක එච්චර නිරවද්‍ය කතාවක් නෙමෙයි. න්‍යායාත්මකව ඕක හරි කියල හිතුනට ප්‍රායෝගිකව ඇත්ත කතාව වෙනස්. ඔන්න කතාව මෙහෙමයි..

දක්ෂිණ ධ්‍රැවය විතරක් නෙමෙයි මුළු ඇන්ටාක්ටිකාවම වේලා කලාප (time zones) සියල්ලම තුල පිහිටනවා.

එතකොට කොහොමද එහෙ වෙලාව ගතවෙන්නෙ?

ඇන්ටාක්ටිකාවෙ තැන් තැන් වල තියෙනවා විවිධ පරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයක්. ඒ අවට විතරයි මිනිස්සු ඉන්නෙ. ඉතින් ඒ ඒ ප්‍රදේශ වල මිනිස්සු භාවිතා කරන්නෙ එක්කෝ තමන්ගෙ මව් රටේ වෙලාව. එහෙම නැත්තං නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් වල වෙලාව (භූගෝලීය උත්තර ධ්‍රැවයෙ තත්වයත් මේ වගේ. එහෙ පාවිච්චි වෙන්නෙ ඇලස්කාවෙ වෙලාව).

මේ ලින්ක් එකේ තියෙනවා ඇන්ටාක්ටිකාවෙ විවිධ මධ්‍යස්ථාන වල මේ මොහොතේ වෙලාව කීයද කියන එක ගැන live update එකක් තත්පරේටම.

Time Zones in Antarctica
Time zones in Antarctica, including time zone names for standard time and Daylight Saving Time (DST) in 2020.

ඒ නිසා දුර ගෙවාගෙන සල්ලි වියදම් කරගෙන දක්ෂිණ ධ්‍රැවයට ඇවිත් හති දාගෙන ඔය බම්බුව වටේ කීපාරක් දිව්වත් ඔයාට වෙලාව නම් වෙනස් වෙන්නෙ නෑ. ඉතින් තව දවස් දෙක තුනකින් ලබන අළුත් අවුරුද්ද හා අළුත් දශකයෙදි වත් සමාජ මාධ්‍ය වල තියෙන හැම දේම ඇත්ත කියල කෙලින්ම විශ්වාස නොකර පොඩ්ඩක් කරුණු හොයල බලල විශ්වාස කරන්න පුරුදු වුණොත් 2020 බොහොම සාර්ථක අවුරුද්දක් බවට පත්කරගන්න ඔයාලටත් පුළුවන් වෙයි.

REFERENCES
https://www.timeanddate.com/time/zone/antarctica
http://www.physics.org/
https://setcompass.com
https://www.ngdc.noaa.gov
https://en.m.wikipedia.org

GO TOP